© 2016 පිරිවෙන් ගණිත අංශයේ පුවත් පත
සියළුම හිමිකම් ඇවිරිණි





සිදුහත් කුමාරයාගේ උපත සිදු වූ ස්ථානය තහවුරු වෙයි

සිදුහත් කුමාරයාගේ උපත සිදු වූ ස්ථානය තහවුරු වෙයි

පසුගියදා නේපාලයේ ලුම්බිණි විහාර සංකීර්ණයේ සිදුකළ විශේෂ පුරාවිද්‍යාත්මක පර්යේෂණයකින් ලද සාක්ෂිවලින් සිදුහත් කුමාරයාගේ උපත පිළිබඳව තහවුරු කෙරිණි.එය තහවුරු වූයේ එංගලන්තයේ ඩර්හැම් විශ්ව විද්‍යාලයේ  පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය රොබින් කොනින්ග්හැම් ඇතුළු පුරාවිද්‍යාඥ කණ්ඩායමක් පසුගියදා සිදුකළ පර්යේෂණ මගිනි. එම පර්යේෂණ කරන ලද්දේ ලුම්බිණියේ පිහිටි මායාදේවි විහාරය ආශ්‍රිතවය.

ගවේෂණය සිදුකළ පුරාවිද්‍යා කණ්ඩායම සඳහා යුනෙස්කෝ සංවිධානයේත්, නේපාල හා ජපාන නිලධාරින්ගේ හා නැෂනල් ජියෝග්‍රැෆික් සමාජයේද සහය ලැබී තිබේ. සිදුහත් කුමරැගේ උපත ක්‍රිස්තු පූර්ව 623දී සිදු වූ බවට විශ්වාසය පළකරන අතර, ඇතැම් වාර්තා එය ක්‍රිස්තු පූර්ව 4 වැනි සියවස තුළදී සිදු වූ බව  පවසයි.

අප සොයාගත්ත විහාරය තමයි මේ වන විට සොයාගත් පැරණිතම බෞද්ධ සිද්ධස්ථානය. බුදුන් වහන්සේ ජීවත් වූ කාලය පිළිබඳව විශාල මතභේදයක් තිබුණා. එහෙත් අප සොයාගත් සිද්ධස්ථානයේ සැකැස්ම ක්‍රිස්තු පූර්ව 6 වැනි ශතවර්ෂයට අයත් යැයි සැලකිය හැකියි යැයි පුරාවිද්‍යා මහාචාර්ය රොබින්, මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් සඳහන් කළේය.

මේ වන විට ලෝක උරුමයක් ලෙස නම් කර ඇති මයාදේවි විහාරය මීට ඉහතදී 1896 වසරේදී ගවේෂණය කර නැවත ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසුව වන්දනාමාන කටයුතු සඳහා විවෘත කරනු ලැබීය.

මායාදේවි විහාරය  වැඳපුදා ගැනීමට විශාල පිරිසක් දිනපතා පැමිණීමත්, හිමිවරැන් එහි භාවනායෝගීව වැඩ සිටීමත් නිසා මායාදේවි විහාරයේ කැණීම් ඉතාම පරිස්සමින් සිදු කළ බව මහාචාර්යවරයා පවසයි.

පර්යේෂණයේ දී සොයා ගැනුණු අඟුරු, වැලි සාම්පල හා ගඩොල් පරීක්ෂා කිරීමෙන් පසුව මෙම නව තොරතුරු පිළිබඳව තහවුරැවක් ලැබී තිබේ.

මහාමායා දේවිය සිදුහත් කුමරැට උපත දුන් ස්ථානයේ  පැවැති සල් ගස මැදිකර මෙම විහාරය ඉදිකරන්නට ඇති බව පුරාවිද්‍යාඥයෝ පෙන්වා දෙති. සොයා ගත් විහාරයට වහලක් නොමැති වීමෙන් ඒ බව තහවුරු වන බවද ඔවුහු පවසති.

එසේම තම ගවේෂණය සිදුකිරීමේදී එය වඩාත් විනිවිද අයුරින් සිදුකිරීමට සිදු වූ බවද පුරාවිද්‍යාඥ රොබින් මහතා පවසයි.

 

සොයාගත් සාක්ෂි කිනම් කාලසීමාවකට අයත්දැයි යන්න සොයා ගැනීම සඳහා විද්‍යාත්මක දින ගණනය කිරීමේ ආකාර දෙකක් යොදා ගත් බවද මහාචාර්යවරයා පවසන අතර, විද්‍යාව මෙන්ම පුරාවිද්‍යාවද මෙම කැණීමේදී එක්වූ බවද ඔහු තවදුරටත් පවසයි.

(සී.එන්.එන්,බී.බී.සී., සහ නැෂනල් ජියෝග්‍රැෆික් සමාජය ඇසුරිනි)  CNN-BBC-National Geographic